සිනහව අතරින් දේශපාලනය, මාධ්‍ය භාෂාව සහ සමාජ මනෝභාවය කියවන්නට ඉඩ දෙන වේදිකා නිර්මාණයක්.
උදයසිරි වික්‍රමරත්නගේ අධ්‍යක්ෂණයෙන් වේදිකාගත වූ “තුන්සිය හැට එක” හෙවත් “361”, මෙරට රූපවාහිනී දේශපාලන සංවාද සංස්කෘතිය සිනහවෙන් විවරණය කරන සාර්ථක වේදිකා නිර්මාණයකි. ප්‍රවීණ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු නිරූපණය කරන දේශපාලනඥයාත්, උමයංගනා වික්‍රමසිංහ නිරූපණය කරන නිවේදිකාවගේ චරිතයත් අතර ගොඩනැඟෙන රංග රසායනය, නාට්‍යයේ ප්‍රධාන ශක්තියක් බවට පත්වේ. එම රංග ගැටුම හරහා “361” හි හාස්‍යය, රිද්මය සහ සමාජ විවේචනය එකම ප්රවාහයකට ගෙන එයි.
මෙය හුදෙක් සිනහව උපදවන හාස්‍ය නාට්‍යයක් නොවේ. මාධ්‍යය, දේශපාලනය, සත්‍යය සහ ප්‍රේක්ෂක මනස එකිනෙක ගැටෙන වේදිකා අවකාශයකි. අපට හුරුපුරුදු රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහන්වල ආකෘතිය සිහිපත් කරන “361”, එම මැදිරි භාෂාව, ප්‍රශ්න-පිළිතුරු රටාව සහ ප්රචාරක හැඩයම වේදිකා උපහාසයක් බවට පත් කරයි. නිවේදිකාව ප්‍රශ්න අසයි. දේශපාලනඥයා පිළිතුරු දෙයි. නමුත් ඒ ප්‍රශ්න සහ පිළිතුරු අතරින් මතුවන්නේ හාස්‍යය පමණක් නොව, දේශපාලන භාෂාවේ හිස්කමයි.
නාට්‍යයේ ආරම්භයේදීත්, සෑම විරාමයකින් පසුවත් නිවේදිකාව පවසන “උත්තරීතර සත්‍යයේ නිර්මල පූජාසනය 361” යන වාක්‍යය, නාට්‍යයේ මූලික උපහාසමය විරුද්ධාර්ථය ලෙස ක්‍රියා කරයි. සත්‍යය “පූජාසනයක්” මත තබන බව පවසන මාධ්‍ය අවකාශය තුළම, එම සත්‍යය විකෘති වේ, විකිණේ, ප්‍රදර්ශනයක් බවට පත්වේ. මුලින් ප්රචාරක වාක්‍යයක් ලෙස ඇසෙන මෙම ප්‍රකාශය, නාට්‍යය ඉදිරියට යද්දී මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ තියුණු විවේචනයක් බවට පරිවර්තනය වේ.
නිවේදිකාව අසන සරල ප්‍රශ්නවලට දේශපාලනඥයා දෙන අසංයුක්ත පිළිතුරු, නාට්‍යයේ ප්‍රධාන හාස්‍ය මූලාශ්‍රයකි. “ජනතාව දේශපාලනයෙන් රට සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නම්, මොකක්ද කරන්න ඕනි?” යන ප්‍රශ්නයට ඔහු දෙන “ඒ ගැන කතා නොකර ඉඩ ඕනි” යන පිළිතුර, මුලින් සිනහව උපදවන නමුත්, ඒ සිනහව පසුපසින් දේශපාලන භාෂාවේ හිස්කම පිළිබඳ දැඩි සත්‍යයක් මතු කරයි.
එසේම, “දේශපාලනයෙන් කරන්න පුළුවන් ලොකුම වැඩේ මොකක්ද?” යන ප්‍රශ්නයට “භාර්යාව ආර්යාව කරන එක” යන පිළිතුර, දේශපාලනය ජනතා සේවයක් නොව, පවුල් බලය, තනතුරු, ප්රතිරූප සහ සමාජ පදවි ගොඩනඟන යන්ත්‍රයක් බවට පත්වන ආකාරය හාස්‍යයෙන් හෙළි කරයි. “ගැහැනු මිනිස්සු විවාහ වෙන්නේ මොකටද?” යන ප්‍රශ්නයට “උපදෙස් දෙන්නයි, උපදෙස් ගන්නයි” යන පිළිතුරද, විවාහය ආදර සම්බන්ධයක් ලෙස නොව, එකිනෙකාට උපදෙස් දෙන හා උපදෙස් භාරගන්නා සමාජ ගිවිසුමක් ලෙස සරල කර දැක්වෙන හාස්‍යමය අවස්ථාවකි.
වැඩසටහනට ලැබෙන අසම්බන්ධ දුරකථන ඇමතුම්, නාට්‍යයේ හාස්‍යය පුළුල් කරන අතරම, රූපවාහිනී පරිභෝජනයේ අවුල් සහගත ස්වභාවයද හෙළි කරයි. “ප්රශ්නය මල් කීයද?” වැනි අමුතු ප්‍රශ්න, ගීත ගායනා කිරීම්, ජ්‍යෝතිෂ වැඩසටහනක් යැයි සිතා ලබා දෙන ඇමතුම්, නිවේදිකාවගේ මවගේ ඇමතුම සහ ආහාර සැකසීමේ වැඩසටහනක් පිළිබඳ අසන විමසීම්, එකම මාධ්‍ය අවකාශයක් තුළ සියල්ල මිශ්‍ර වී යන අද රූපවාහිනී සංස්කෘතියේ විකෘති රිද්මය සිනහවෙන් මතු කරයි.
ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිරවූ තවත් අවස්ථාවක් වූයේ “බලය” පිළිබඳ දුරකථන ඇමතුම් දර්ශනයයි. “බලයා, බලයා… fish බලයා නෙමෙයි, බලයා” යන වචන ක්‍රීඩාව සරල හාස්‍යමය අවස්ථාවක් ලෙස ඇසුණද, එය නාට්‍යයේ දේශපාලන උපහාසය තවත් තියුණු කරයි. බලය ගැන නිරන්තරයෙන් කතා කරන දේශපාලන සංස්කෘතියක, බලයේ අර්ථයම අවසානයේ විහිළුවක් බවට පත්වන ආකාරය “361” සිනහවෙන් වේදිකාවට ගෙන එයි.
අවසානයට ඉතා ආසන්නයේ කුඩා කාලය පිළිබඳ විමසන අවස්ථාව, ගිහාන් ප්‍රනාන්දුගේ දේශපාලනඥයාගේ චරිතයට වෙනත් පැත්තක් එකතු කරයි. කුඩා කාලයේදී සිතූ සැනින් යමක් කිරීමට තිබූ හැකියාව ඔහු බිම හිඳගෙන සිටින නිවේදිකාවට විස්තර කරන්නේ, කුඩා දරුවෙකුට යමක් පැහැදිලි කරන්නාක් මෙනි. නාට්‍යය පුරා වචනවලින් මගහැරෙන, වචනවලින්ම වංචා කරන දේශපාලනඥයා, එම මොහොතේ පමණක් යම් අවංක පැහැදිලි කිරීමක් කරන බව දැනේ. ජිල් ගැසීම ගැන විස්තර කරමින් නිවේදිකාවටද ඒ ක්‍රීඩාවට එක්වන ලෙස ආරාධනා කරන ඔහු, මැදිරිය වටා අල්ලන් සෙල්ලම් කිරීමට දිව යන විට, දේශපාලන බලය පිටුපස සැඟවුණු ළමාකාරී, අවුල් සහගත මනස හාස්‍යයෙන් මතුවේ.
අනෙක් අතට, උමයංගනා වික්‍රමසිංහ නිරූපණය කරන නිවේදිකාවගේ චරිතය, නාට්‍යයේ රිද්මය පාලනය කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. ඇය හුදෙක් ප්‍රශ්න අසන චරිතයක් නොව, මාධ්‍ය පද්ධතියේම කොටසකි. නව මාධ්‍ය රටාව පිළිබඳ ඇගේ නොකැමැත්ත අතපසු වීමකින් මතුවන අවස්ථාවත්, පසුව රැකියාව වෙනුවෙන් එය සඟවා ගැනීමට ඇයට සිදුවන ආකාරයත්, නාට්‍යයේ වැදගත් මොහොතකි. එහිදී “361” පෙන්වන්නේ, මාධ්‍යය තුළ සිටින පුද්ගලයා පවා එම පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් නොවන බවයි.
නාට්‍යයේ වේදිකා සැකසුමද එහි අදහසට සෘජුව සේවය කරයි. එල්ෆින්ස්ටන් ඓතිහාසික රඟහලේ වේදිකා අවකාශය තුළ දිස්වන විශාල “361” ලාංඡනය, වර්ණවත් ආලෝකය, සංවාද වැඩසටහනක් සිහිපත් කරන ආසන සැකසුම සහ රූපවාහිනී මැදිරියක හැඩය, නාට්‍යය සජීවී දේශපාලන රූපවාහිනී වැඩසටහනක් ලෙස දැනෙන්නට සලස්වයි. Luvolin Vanderwall සහ තිලංක වීරවර්ධනගේ වේදිකා සැලසුමත්, මිහිඳු මධුශංකගේ ආලෝකකරණයත්, එම මාධ්‍යමය ප්‍රදර්ශන හැඟීම ගොඩනැඟීමට වැදගත් දායකත්වයක් සපයයි.
විවිධ ප්‍රකට දේශපාලකයන්ගේ හඬට සමාන හඬවලින් ඇමතුම් ලබා දී, ඒවා සාමාන්‍ය වැසියන්ගේ අදහස් ලෙස ඉදිරිපත් කරන අවස්ථාද නාට්‍යයේ රසය වැඩි කරයි. මෙහිදී වේදිකාවේ පෙනෙන චරිත දෙක පමණක් නොව, වේදිකාව පිටුපසින් හඬ දායකත්වය සපයන ශිල්පීන් පවා නාට්‍යයේ අර්ථය සහ හාස්‍යය ගොඩනැඟීමට සුවිශේෂී දායකත්වයක් සපයයි.
නාට්‍යය තුළ භාවිත වූ අතරමැදි දැන්වීම් මුලින් ඉතා හාස්‍යමය ලෙස දැනුණි. ඒවා සාමාන්‍ය රූපවාහිනී වැඩසටහන් අතරට පැමිණෙන දැන්වීම්වල හැඩයම විහිළුවක් බවට පත් කළ අවස්ථාය. ඇතැම් විට එම දැන්වීම් “වැඩි” බවක් ද දැනුණි. නමුත් ඒ වැඩි බවම නාට්‍යයේ විවේචනයට ගැළපේ. මන්ද අද රූපවාහිනී සංස්කෘතියේ ද සත්‍යය, සාකච්ඡාව, ප්‍රවෘත්තිය සහ දැන්වීම අතර සීමා නිරන්තරයෙන් මැකී යන බැවිනි. එම බාධාකාරී හැඟීම ප්‍රේක්ෂකයාටම අත්විඳින්නට ඉඩ දීම, “361” හි මාධ්‍ය විවේචනය තවත් ශක්තිමත් කළ උපක්‍රමයක් ලෙස කියවිය හැක.
එහෙත්, මනමේ, අන්දරේ, පුරෝහිත වැනි ජනප්‍රිය සංස්කෘතික ආකෘති ඇසුරු කරමින් ගොඩනැඟූ ඇතැම් අතරමැදි දැන්වීම්වල හාස්‍යය තරමක් අධික වූ බව ද දැනුණි. එවැනි අවස්ථා කිහිපයකදී නාට්‍යයේ උපහාසමය රිද්මයට වඩා, නාට්‍යයෙන් තරමක් වෙන් වූ හාස්‍ය කොටසක් වැනි හැඟීමක් මතුවීම නිසා, අවසාන කොටස ආසන්නයේ ප්‍රේක්ෂක අවධානය රඳවා ගැනීම සුළු වශයෙන් එහා මෙහා වූ බව හැඟේ. කෙසේ වෙතත්, එය නාට්‍යයේ සමස්ත ප්‍රභාව අඩු කරන දුර්වලතාවක් නොව, එහි ආකෘතියටම සම්බන්ධ වූ සිතන්නට වටින සීමාවකි.
නාට්‍යයේ ප්රචාරක වාක්‍යයක් වූ “ඇත්ත නැතත් පැත්ත රකින අපේ මීඩියා වල ඇත්ත කතාව” යන්න, “361” හි මූලික අදහස ඉතා නිවැරදිව සාරාංශ කරයි. මෙහි විවේචනය මාධ්‍යයට පමණක්වත්, දේශපාලකයාට පමණක්වත් සීමා නොවේ. එය එවැනි වැඩසටහන් නරඹන, සිනාසෙන, විශ්වාස කරන, අවිශ්වාස කරන, නමුත් තවමත් ඒවා පරිභෝජනය කරන අප සියලු දෙනා වෙතම යොමු වන විවේචනයකි. ඒ අර්ථයෙන් “361” යනු සාර්ථක හාස්‍ය නාට්‍යයක් පමණක් නොව, සිනහව හරහා මාධ්‍යය තුළ සත්‍යය පිළිබඳ අපගේම වගකීම මතක් කරවන බලවත් වේදිකා අත්දැකීමකි. සත්‍යය අහිමි වන්නේ බොරුව නිසා පමණක් නොවේ. සමහර විට සත්‍යය අහිමි වන්නේ එය අධික ලෙස ප්‍රදර්ශනයකට පත් කරන නිසාය. “361” එම අනතුර වේදිකාව මත සිනහවෙන් පෙන්වා, ප්‍රේක්ෂකයාගේ සිත තුළ නිහඬ ප්‍රශ්නයක් ඉතිරි කරයි.
ශාක්‍යා සූරිබණ්ඩාර
(පළමු වසර)
