අඳුර දරන හඬක් : සදා නොමැකෙන මතකයක්

 

නටබුන් වූ පොළොව මත

ගිනිගත් හදකින් පිදුරු වූ මලක

කඳුළකට ගොළු වූ වේදනාවක

සේයාවකි ඔබ.

 

ලේ විලක පිපුණු රතු නෙළුමක

වැටුණු තැනම දැවෙන අහිංසක සිහිනයක

මියගිය ආත්මයක අඳුරු සෙවණැල්ලකි

ඔබ, යුගයක කතාවයි “රාණි.”

 

හඬක් විය ඔහු

හදවත තුළ යටපත් කළ

කල්ප ගණනකට පෙර ගිලී ගිය

සත්‍යය කඩුල්ලේ අභිමානය.

 

නමුදු එම සත්‍යය

දරාගත නොහැකි වූ ලෝකයක

මරණයේ දෑතට යටත් විය ඔහු

නිර්භීතව, අමානුෂිකව.

 

ඔහුගේ සිරුර

ගොඩ ගසන විට වෙරළට

මුහුදේ ලුණු රසට වඩා

දේශයේ කඳුළු ලුණු රස විය

නිසැකවම.

 

අඳුර ගිලගත් රාත්‍රියක

නිහඬ වූ ඒ හඬ

මරණයෙන් පසුව ද

හද තුළ ජීවමාන විය.

 

මවකගේ කඳුළු ගඟකින්

යුක්තිය පතා ගලා ගිය

ලේ විලක අත්දැකීම් තුළින්

අයුක්තියම ඉතිරි විය.

 

රිචඩ්, ඔබ නොමැරුණි

තවමත් ඔබ හඬ

ඔබ පිදු ජීවිතයේ සංකේතය ලෙස

අඳුරට එරෙහිව සටන් වදී.

ඔබේ හදවතේ රුධිරයෙන්

කල්ප ගණන් ලියැවුණු

අතුරුදහන් වූවන්ගේ

මව්වරුන්ගේ කඳුළ

ඔබේ සොහොන මත

මල් ලෙස පිපී ඇත.

 

සත්‍යයට උරාගත් ලේ බිඳු

පොළොවට වැටුණත්

අහසට නැඟුණු හඬ

ගිනිපුපුරු වී පිලිසිඳ ලබයි.

 

අඳුරු වළාවෙන් වැසුණු

හිරු අද නොපෙනුණත්

හෙට උදාවෙයි හිරු

ඔබගේ නාමය ලෝකයාට දරා සදා.

ඩබ්. ඩනිල් ද සිල්වා

ඩී. ඇස්. සේනානායක විද්‍යාලය

කොළඹ 07