නීතියෙන් වෙන් වුණෙමු

නිවහන අද මට අඳුරුයි ගුප්තයි
ඔබ සිහිවනවා නැතුව නොවේ
මවෙතින් ලද සෙනෙහස මදි වී දෝ
තවකෙකුගෙන් ප්‍රේමය පැතුවෙි..
මට බොරු කියමින් රැය ගත කර ආ
දින පිළිබඳ මා අද ද තැවේ
නික්මී යන්නට අවසර දුන්නද
නුඹ නැති ශෝකෙන් මියෙමි දැවේ..

රාගෙන් මත් වී ඔබ ඇයි ඒ ලෙස
යෞවනයෙකු හට හිත දුන්නේ
නුඹ පතනා ආදරය විඳින්නට
මම නොවෙදෝ මාළිඟ තැන්නේ
වෙහෙසින් වැඩ නිම වී මා එන විට
ඔබ කොහි ඇතිදෝ නෑ දන්නේ
මුලාව කිසිදා ජය නොලබන සේ
බළලා මල්ලෙන් පිට පැන්නේ..

හද දෙපළුව ගිය බව මට දැනිලා
නුඹගෙන් වෙන් වන්නට සිතුවා
එක හිත නැති ඔබ සමගින් මට නම්
තව තව දුර යන්නට බැරුවා
උසාවියේ දොරටුව අභියස මා
පෑරුණු හද ඉකිබිඳ හැඬුවා
එක මග යළි නොයනා බව දැනගෙන
අද මේ කවි සී පද ගෙතුවා…

-සචිනි පෙරේරා-
අවසන් වසර