සුනිල් ආරියරත්න මහතාගේ ගී පද සංකල්පනාවෙන් නිර්මාණය වූ මෙම ” යදමින් බැඳ විලංගුලා” ගීතය සංවේදීත්වයෙන් අනූන සහ ප්‍රේක්ෂක හදවත් කඳුළින් ස්පර්ශ කරලීමට සමත් වූ ගී පැදි පෙළකි. මෙම ගීතය තුළින් ඉතිහාසයේ නොමැකෙන එක් කලු පැල්ලමක් වන 1988 – 1989 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල සංවේදීව ඉදිරිපත් කරන එක් ශක්තිමත් නිර්මාණයකි. මෙම ගීතය එම කැරැල්ලේ වින්දිතයන්ට සහ එම පවුල් වලට සිදු කරනු ලබන එක් නිහඬ උපහාරයක් ලෙසද අර්ථ දැක්විය හැකිය. මෙම ගීතය ශ්‍රී ලාංකීය ගීතයේ විප්ලවවාදිනිය ලෙස විරුදාවලිය ලද විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනය කරනු ලබන අතර සංගීතය ඔස්ටින් මුණසිංහයන් විසින් සපයනු ලබයි.
ගීතයට පසුබිම් වූ කතාව
මෙම ගීතය සදහා පාදක වූ සත්‍ය කතාව කාගෙත් නෙතගට කඳුළක් එක් කිරීමට සමත් වූවකි. එනම්, ශ්‍රී ලාංකා ඉතිහාසයේ ඉතා කටුක සහ වේදනාකාරී කාල පරිච්ඡේදයක් වන 1988 – 1989 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලයි. මෙම කැරැල්ල දිවයින පුරා පැතිරී ගිය භීෂණයේ සහ අතුරු දහන්වීම්, ඝාතන වල යුගයක් ලෙස ඉතිහාසයේ කලු අකුරින් සනිටුහන් කරලීමට සමත් වුවකි. මෙම ගීතය සදහා ද පාදක වී ඇත්තේ, එකල භීෂණකාරී සමාජයේ එක් නිරපරාධි තරුණයෙකු අතුරුදන් වී ඒ පිළිබඳව කදුළු සලන එක්මවකගේ ශෝකාන්තය යි.
තේමාව
මෙම ” යදමින් බැඳ විලංගුලා” ගීතයට තේමාව වී ඇත්තේ, මාතෘත්වය සහ පුත්‍ර වියෝවයි. එනම්, පුතෙකු අහිමි වූ මවකගේ ශෝකයයි. තම පුතු අසාධාරණ ලෙස රැගෙන යාම සහ තම පුතුට සිදු වූ විපත්තිය පිළිබඳව ඇයගේ වූ කම්පනය, වේදනාව සහ කඳුළ මෙම ගීතයට ප්‍රධාන ලෙස තේමාව වී ඇත. එම තේමාව යටතේ ගී රචකයා අයුක්තිය, භීෂණය සහ අධිකාරිය ප්‍රශ්න කරමින් මවගේ කඳුළින් ප්‍රේක්ෂක හදවතට ගෙනහැර දැක්වීමට සුනිල්ආරියරත්නනයන් සමත් වෙයි.
දෘෂ්ඨි කෝණය
මෙම ” යදමින් බැද විලංගුලා” ගීතය ප්‍රථම පුරුෂ දෘෂ්ඨිකෝණයෙන් රචනා වී ඇත. එනම්, දේශපාලන ගැටුම් වලට මැදිව තම දරුවා අහිමි වූ හෝ අතුරුදන් වූ මවකගේ පුද්ගලික දෘෂ්ඨිකෝණයෙන් ය. ඇය තම පුතුට සිදු වූ අසාධාරණය පිළිබඳව හැඬු කඳුළින් ප්‍රශ්න කරන අතර, සමාජයට සහ රජයට දෝෂාරෝපණය කරයි. මෙමගින් ගීතයේ සංවේදීතාවය සහ භාවමය බලපෑම තීව්‍ර වේ. සාමාන්‍යයෙන් යුද්ධ හෝ කැරලි පිළිබඳව ගී පද රචනයේ දී දේශපාලනික හෝ සමාජීය දෘෂ්ඨි කෝණ වලින් ඉදිරිපත් කළත්, මෙහි දී මව් සෙනෙහස පෙරෙට ගෙන ඒමෙන් මෙම ගීතය සමාජය තුළ මෙන්ම ගීත කලාව තුළ ද සුවිශේෂී නිර්මාණයක් බවට පත් වේ.
භාෂාව
“යදමින් බැඳ විලංගුලා” ගීතයේ භාෂාව සරල, පැහැදිලි සහ සෘජු වූවද, එය ඉතාමත් ප්‍රබල සහ සංවේදී හැඟීම් ප්‍රකාශ කිරීමට සමත් වේ. ගීත රචකයා දෛනික ව්‍යවහාරයේ බහුලව භාවිත වන වචන මාලාවක් යොදාගෙන ඇති අතර, එය ගීතයේ පණිවිඩය සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කර ගැනීමට උපකාරී වේ. භාෂාවේ සරලත්වය සමඟ මුසු වූ මෙම ගැඹුරු අර්ථය, ගීතය සවන් දෙන්නාගේ හදවතට සමීප කිරීමට සහ ඔවුන් තුළ ප්‍රබල චිත්ත වේගී ප්‍රතිචාරයක් ඇති කිරීමට ප්‍රධාන වශයෙන්ම දායක වේ.
අර්ථාලංකාර භාවිතය
සුනිල් ආරියරත්න මහතා භාෂාවේ අර්ථ රසය නැංවීම සඳහා යොදා ගත් පියවර ලෙස රූපකාර්ථ, සංකේත භාවිතය, ව්‍යංගාර්තය සහ ජන වහර භාවිතය ගෙනහැර දැක්විය හැක. රචකයා එය භාවිතා කළ අයුරු පහත පරිදි විග්‍රහ කල හැක.
ගී රචකයා මෙම ගීත පෙළ තුළ වදන් හසුරවමින් ව්‍යංග්‍යාථ රසයෙන් භාෂාව වර්ණ ගන්වමින් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කිරීමට දැරූ උත්සාහය සාර්ථකය. එය පහත පරිදි විග්‍රහ කල හැක.
“අලුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරද නම්”
යන පැදියෙන් ආරිය රත්නනයන් ව්‍යංගාර්තවත් කරනුයේ, එවකට පැවති පාලනය යටතේ වෙනස් අදහස් දැරීම පවා මර්දනයට ලක් වූ බවයි. තරුණ පරම්පරාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට හෝ වෙනසක් බලාපොරොත්තු වීමට තිබූ අයිතිය පවා අහිමි වූ බව එමගින් නිරූපණය වේ.
“එගිනි නිවන මඟ සෙවීම
වරදක් දැයි මට කියන්”
ඉහත පැදියෙන් තම පුතු අහිමි මවට, පුතුට සිදු වූයේ කුමක්දැයි යන වග දැනගැනීමට පවා අයිතියක් නොතිබූ සමාජය, යුක්තිය සහ නීතිය අකර්‌මණ්‍ය වූ සමාජ තත්ත්වය පිළිබදව ගී රචකයා ව්‍යංග්‍යාර්ථවත් කරයි.
තවද, සුනිල් ආරියරත්නයන් මෙම ගී පද සංකල්පනාව පුරාවටම විප්ලවයන් සහ දේශපාලන අරගල වලදී සාමාන්‍ය ජනතාව, විශේෂයෙන්ම මව්වරුන් සහ පවුල් විදින දුක් වේදනා පිළිබඳව මෙන්ම එවකට පැවති දේශපාලන ක්‍රමයේ අසාධාරණය, අත්තනෝමතික භාවය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව දැඩිව ව්‍යංග්‍යාර්ථයෙන් විවේචනය කරයි.
ගී රචකයා භාෂාව වර්ණ ගැන්වීමට භාවිතා කල තවත් එක් රචනෝපක්‍රමයක් ලෙස ගීතය තුළ සංකේතාත්මක බස් වහරක් යොදා අර්ථ රසය පෝෂණය කිරීමයි. එය පහත නිදසුන් තුළින් මනාව නිරූපණය වේ.
“යදමින් බැඳ විලංගුලා
මගේ පුතා රැගෙන යන්න”
ඉහත පැදියෙන් ගී රචකයා එවකට පැවති භීෂණකාරී සමාජ තත්ත්වය මර්දනය සඳහා තරුණ තරුණියන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම් මගින් ඔවුන්ට හිමිව තිබූ සමාජ නිදහස අහිමි වීම සහ දේශපාලන බලහත්කාරය ඉතා ප්‍රබල ලෙස සංකේතවත් කරයි. මෙහි දැක්වෙන ” මගේ පුතා” යනුවෙන් ආරියරත්නයන් සංකේතවත් කරනුයේ, අනාගතය පිළිබඳව සිහින දුටු අහිංසක තරුණ පරම්පරාවයි. ” රැගෙන යන්න ” යනුවෙන් ආරියරත්නයන් දක්වා ඇත්තේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සහ අතුරුදහන් කිරීම් වැනි දේශපාලන මිලේච්ඡ ක්‍රියාවන් ය.
“අළුත් ලොවක් ගැන සිතීම
දඬුවම් දෙන වරද නම්”
ඉහත පද්‍යයෙන් ජනතා විමුක්ති කැරැල්ලට සම්බන්ධ වූ බොහෝ තරුණයන්ගේ අභිලාෂය විදහා දක්වයි. ඔවුන් සමාජයේ වෙනසක්, සාධාරණත්වයක් සහ යහපත් අනාගතයක් අපේක්ෂා කළ නමුත්, ඔවුන්ගේ මෙම අදහස් පාලකයන් විසින් වරදක් ලෙස සලකා මර්දනයට ලක් විය. තරුණ පරම්පරාවට නව අදහස් දැරීම එවක සමාජය තුළ වරදක් බවත් එය ඔවුන්ගේ අකල් මරණයට හේතු වන බවත් ගී රචකයා ගෙන හැර දක්වයි. මෙහි පැමිණෙන ” අලුත් ලොවක් ” යනුවෙන් සංකේතවත් කර ඇත්තේ නව අදහස් වලට තුටු දෙමින් සමාජය සහ දේශපාලනය තුළ වෙනසක් බලාපොරොත්තු වන පරපුරක් සහ ඔවුන්ගේ එම විප්ලවීය අදහස් සහ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා වූ අභිලාෂයන්ය.
“කකා බිබී නටන අතර
නරුම යහළු යෙහෙළියන්”
ඉහත පද්‍යයෙන් සාමාන්‍ය තරුණ ජීවිතය සහ එයට බාධා වූ අයුරු ආරියරත්නයන් ප්‍රේක්ෂක හදවත් තුළට රැගෙන යයි.
“රටගිනි ගෙන ඇති වග දුටු
මගේ එකම පුතුනුවන්
එගිනි නිවන මඟ සෙවීම
වරදක් දැයි මට කියන්”
මෙම පද්‍යයෙන් රටේ පැවති අර්බුදකාරී තත්වය සහ එය නිවැරදි කිරීමට තරුණයන් දැරූ උත්සාහය පෙන්වා දෙයි. රචකයා මෙහි “රටගිනි ගෙන” ලෙස සංකේතවත්ව දක්වා ඇත්තේ, එකල දේශපාලන අස්ථාවරතාවය යි. එම අස්ථාවරත්වයට කරුණු සොයමින් ඒවාට පිළියම් සොයමින් රටේ දේශපාලනය ගොඩනැංවීමට කටයුතු කිරීම තමාගේ පුතුගේ මෙන්ම මෙරට තරුණ තරුණියන්ගේ අකල් මරණයට හේතු වනුයේ කෙසේද යන්න වග මව නීතියෙන් ප්‍රශ්න කරයි.
“ඉදිකටු ඇන ඇඟිලි තලා
දෙතිස්වදය පමුණුවන්න”
මෙය වධ හිංසාවන්ට ලක් වූ තරුණයන් පිළිබඳ සෘජු යොමුවකි. එවකට රහස් ස්ථානවල සිදු වූ ම්ලේච්ඡ වධ හිංසා පිළිබඳව මෙය ඉඟි කරයි. “දෙතිස්වදය” යන්නෙන් සියලු ආකාරයේ වධහිංසා සංකේතවත් කෙරේ.
“කුමට එරට අධිකරණය
නීතිය හා විනිසුරන්”
ඉහත පද්‍යයෙන් නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, යුක්තිය අහිමිවීම සහ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා මෙයින් ප්‍රශ්න කෙරේ. අත්අඩංගුවට ගත් අයට නිසි නඩු විභාගයක් හෝ නීතිමය ආරක්ෂාවක් නොතිබූ බව මෙයින් ඇඟ වේ.
ඉහත දක්වන ලද නිදර්ශන මගින් ගීතය තුල කවියා යොදාගත් සංකේත මැනවින් ප්‍රකාශ වේ.
ගී රචකයා ගීතය පුරාම සරල නමුත් ප්‍රබල උපමා යොදාගෙන නැත. කෙසේ වෙතත්, සමස්තයක් ලෙස මවගේ වේදනාව සහ සිදුවීම් විස්තර කිරීම උපමාත්මක අර්ථයක් ගනී. ” කිරි මව් ලෙස” යනු උපමාවක් ලෙස ද සැලකිය හැකිය. එයින් මවකගේ පරම ආදරය උපමාවට නැගේ.
තවද, ගී රචකයා යොදා ගත් සරල බස් වහර ප්‍රේක්ෂක හදවත් තුළ චිත්ත රූප ජනනය කරලීමට සමත් වූ බව නොඅනුමානය. එය පහත පරිදි විග්‍රහ කල හැක.
‘ යදමින් බැඳ විලංගුලා ” යනුවෙන් දක්වමින් දෑත් බැඳගෙන සිටින, විලංගු දැමූ තරුණයෙකුගේ රූපය ප්‍රේක්ෂක මනසට නඟයි. “කකා බිබී නටන අතර ” යනුවෙන් දක්වමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන, නිදහසේ සිටින දරුවන්ගේ රූපය අපගේ මනසට නඟයි. තවද, ” කිරි මව් ලෙස” යනුවෙන් දක්වමින් දරුවෙකුට කිරි දෙන මවකගේ මවගේ භාවාත්මක රූපය ප්‍රේක්ෂක හදෙහි චිත්‍රයට නඟයි. ඉහත සදහන් කල නිදර්ශන තුලින් මෙම ගීතයේ සාර්ථකත්වය උදෙසා භාෂාව රස ගැන්වීමට ගීත රචකයා යොදාගත් අර්ථාලංකාර භාවිතය හේතු වූ බව නොඅනුමානය.
ශබ්දාලංකාර භාවිතය
මෙම ගී පද සංකල්පනාව තුල විවිධ ශබ්දාලංකාර දැක ගත හැකිය. පහත පරිදි ඒවා ගෙනහැර දැක්විය හැක. අනුප්‍රාසය, එළිසමය, යාමක සහ යතිය යනු ශබ්ද රසය නැංවීම සදහා යොදා ගන්නා ශබ්දාලංකාර වේ. මෙම ගීතය තුලද මෙවැනි ශබ්ද රසය ඉහල නැංවීම පිණිස යොදාගත් යාමක, අනුප්‍රාසාත්මක වදන් දැක ගත හැකිය. එය පහත පරිදි ගෙනහැර දැක්විය හැක.
ගීතයේ බොහෝ පදවල, අනුප්‍රාසය භාවිත වී ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස “ක”, “න”, “ම” අක්ෂර නැවත නැවත යෙදීම සිදු වී ඇත. මෙමගින් ගීතයට මියුරු බවක් සහ ගලා යන ස්වභාවයක් ලබා දේ.
ගීතය තුළ සාම්ප්‍රදායික එළිසමය දැඩිව අනුගමනය නොකරයි. එය නවීන ගීත රචනා ශෛලියට අනුව නිදහස් රිද්මයකින් යුක්ත වේ. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවල අභ්‍යන්තර එළිසමය හෝ ශබ්ද සමානතා දක්නට ලැබේ. මෙම ගීතයෙහි යාමක අලංකාරය ප්‍රධාන ලෙස භාවිත වී ඇත. එනම්, “ යදමින් බැද විලංගුලා ” ලෙසටය. මෙය මවගේ වේදනාව සහ සිද්ධියේ බරපතලකම නැවත නැවත අවධාරණය කරයි..
ගීතයෙහි පද ගායනා කිරීමේදී ස්වභාවික යතියක් පවතී. ගීත රචකයා පදවල අර්ථය සහ භාවය ඉස්මතු වන ලෙස යතිය යොදාගෙන ඇත. විශේෂයෙන්ම, “යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න” වැනි තැන් වල දී, වාක්‍යයේ අර්ථයට හානි නොවන පරිදි, ගායනයට පහසුවන පරිදි යතිය ගී රචකයා යොදාගෙන ඇත. ඉහත දක්වන ලද නිර්දර්ශන මගින් ගී රචකයා මෙම ” යදමින් බැඳ විලංගුලා…” ගීතයේ සාර්ථකත්වය සදහා ශබ්දාලංකාර ද මනාව හසුරුවා ඇති අයුරු දැක ගත හැකිය
.
ගායිකාවගේ දක්ෂතාව
නන්දා මාලිනී මහත්මියගේ ගායනය මෙම ගීතයේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු විය. ඇගේ හඬෙ ඇති සංවේදී බව, භාව ප්‍රකාශන හැකියාව සහ වේදනාබර හැඟීම් ප්‍රේක්ෂකයාගේ හදවතට සමීප කිරීමට සමත් විය. මවකගේ ශෝකය, වේදනාව, කෝපය සහ බලාපොරොත්තු සුන්වීම ඇයගේ හඬින් අති විශිෂ්ට ලෙස ප්‍රකාශ වේ. උච්චාරණය, ස්වර පාලනය සහ හැඟීම් මුසු කිරීම ඇගේ ගායනයේ විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරයි. මෙම ගීතය නන්දා මාලිනීගේ වෘත්තීය ජීවිතයේ මෙන්ම ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ ද සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම ගීතය 1988-89 කැරැල්ලේ මානුෂීය පිරිවැය සහ එහි සමාජයට ඇති කළ බලපෑම පිළිබඳ ස්මාරකයක් ලෙස ශ්‍රී ලංකා සමාජයේ සිතෙහි රැඳී තිබේ. එය හුදු ගීතයක් නොව, අඳුරු යුගයක සිදු වූ ඛේදවාචකයන් සිහිපත් කරන කලාත්මක සාක්ෂියකි.
දනිල් ද සිල්වා
ඩී. එස්. සේනානායක විද්‍යාලය
කොළඹ 7

