2026 මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවේ 5 වන වාණිජ මහාධිකරණය, කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී විධිමත්ව විවෘත කරන ලදී. වාණිජ නඩු කඩිනම් කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් වල නීතිමය ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම නව අධිකරණය ස්ථාපිත කර ඇත.
මෙය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ පාලන කාලය තුළ පිහිටවන ලද දෙවන වාණිජ මහාධිකරණය වන අතර, රට තුළ වාණිජ නඩු සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැක.
මෙම නව අධිකරණය පිහිටුවීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්දේශ අතරටද ඇතුළත් විය. ඒ අනුව, ආයෝජක විශ්වාසය වැඩි දියුණු කිරීම සහවාණිජ ආරවුල් ඉක්මනින් විසඳා ගැනීමට අවශ්‍ය නීතිමය පරිසරයක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.
නව අධිකරණය හඳුන්වාදීමත් සමග, දිගුකාලීනව පවතින වාණිජ නඩු ගොනුව අඩුකිරීම, නඩු විභාග කාලය කෙටි කිරීම, ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට වඩා හිතකාමී නීතිමය පද්ධතියක් නිර්මාණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම,විදේශීය ආයෝජන ආකර්ෂණය කිරීමේදී සහ ශ්‍රී ලංකාව වාණිජ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමේදී මෙම අධිකරණය වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇත. නීති ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වාණිජ නඩු සඳහා වෙන් වූ විශේෂ අධිකරණයන් වැඩි කිරීමෙන්, නීති පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ විශ්වාසනීයත්වය තවදුරටත් වැඩි වන බවයි.
මෙම පියවර, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීමේ සහ ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ දිගුකාලීන වැඩසටහන්වල වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකිය හැක.
ජනිත් පෙරේරා
(පළමු වසර)

